එක්සිය විසිවසක මහාමායා පුරාවෘත්තයෙහි දිගහැරුම
( 1908-2020)
දකුණුලක සුන්දර මුහුදු තීරයට මුහුණලා සොඳුරු පරිසරයක පිහිටි මහාමායාවෝ වසර එකසිය දහයක් තරම් ඈතට දිවෙන ප්‍රෞඪ ඉතිහාසයක් ඇති අභිමානවත් බාලිකා පාසලකි. සිය දහස් ගණන් දරුවන්ගේ සිප් පහස නිවාලමින් දෑ හිතකාමී ගුණධර්ම අගයන යහපත් පෞරුෂයෙන් පිරිපුන් දියණියන් ලොවට දායාද කරමින් ඕතොමෝ පැමිණි ගමන් මඟ කටුකොහොලින් මෙන්ම විවිධ ජයග්‍රහණයන්ගෙන්ද යුක්ත වූ අර්ථවත් ගමනකි. දකුණු ලක විශිෂ්ටතම බාලිකා පාසල වීමේ දැක්මෙන් ඉදිරියටම යන මහාමායාව බෞද්ධ පාසලක් ලෙස කිතුගොස පතුරුවමින් සිටින්නීය.
S.J.P.M.නිවාසයේ නේවාසිකව ලැගුම් ගෙන සිටි මාරි කන්‍යා සොයුරිය මාතර වෙරළ තීරය ඉදිරිපිට කන්‍යාරාමයක් ආරම්භ කිරීමේ මහඟු කටයුත්තට පුරෝගාමීව කටයුතු කළාය. වර්ෂ 1905 දී කන්‍යාරමය තැනීමේ කටයුතු ආරම්භකරන ලද අතර එහිදී ඇයට රිබෝවර්ස් ද මැල් මහතාගේ හා එම මහත්මියගේ අනුග්‍රහය හා මඟපෙන්වීම ඉහළින්ම ලැබී තිබුණි. 1905 වර්ෂයේ ඇරඹි කන්‍යාරාමය ඉදිකිරීමේ කටයුතු 1908 නිමාවට පත් කරන ලදී. එය අනාථාශ්‍රමයක් ලෙස 1908 වර්ෂයේදීම වැන් ලිබින් හර්බර්ට් පියතුමා විසින් නම් කර පවත්වා ගෙන යන ලදී. මෙහි කාර්යයන් සඳහා උබින් වැන් හා සොෆියා ග්‍රිවජින් කන්‍යා සොයුරියන් තම දායකත්වය උපරිම ලෙස හර්බර්ට් පියතුමාහට ලබාදෙන ලදී. අනාථාශ්‍රමයේ ඉගැන්වීම් කටයුතු සඳහා හෙල්වජින් කන්‍යා සොයුරිය 1908 අප්‍රේල් 09 වෙනිදා මාතරට පැමිණි බව ඉතිහාසය සාක්ෂි දරයි. එදින ඇය ගාල්ලේ සිට මාතරට දුම්රියෙන් පැමිණි බව සදහන්ව ඇති අතර, අනාථාශ්‍රමයේ දරුවන්ට මුලින්ම අකුරු කියවූ තැනැත්තිය ලෙස ඇය ඉතිහාසගතව ඇත. මාතරට පැමිණිම හරසරින් පිළිගනිමින් කන්‍යාරාමය දෙපස හා වෙරළ තීරය කොඩිවලින් සරසා උත්සවශ්‍රීයක් ගෙන තිබුණු බව පැවසේ.
ස්ටෑන්ඩඩ් මාක් ඇන්තනී සහ ඇලස් යන පියතුමන් හා කන්‍යා සොයුරියන්ගේ මූලිකත්වයෙන්හා ශාන්ත මරියා දේවස්ථානයේ මෙහෙයවීමෙන් අධ්‍යාපන ආයතන තුනක් ආරම්භ කරන ලදී. මාතර කොටුවේගොඩ ශාන්ත මරියා දේවස්ථානය ආශ්‍රිතව රෝමානු කතෝලික සභාව මගින් මෙම අධ්‍යාපන ආයතන තුන ආරම්භ කරන ලදී. එම ආයතන තුන අතරින් දෙකක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් ලෙසත් ස්වභාෂා පාසලක් ලෙස ශාන්ත මරියා කන්‍යාරාමය අනුබද්ධිතව අනිත් අධ්‍යාපන ආයතනයත් පවත්වාගෙන යන ලදී.
වර්තමාන සර්වේශස් විද්‍යාලය හා ශාන්ත මරියා කන්‍යාරාමය ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කළ ආයතන දෙක ලෙසත් ස්වභාෂා අධ්‍යාපන ආයතනය ලෙස අනෙක් අධ්‍යාපන ආයතනයත් පවත්වාගෙන යන ලදි. මුලින් ගැහැණු ළමයින්ට හා පිරිමි ළමයින්ට වෙන් වෙන් වශයෙන් ශාන්ත මරියා කන්‍යාරාමය හා සර්වේශස් විද්‍යාලය ආරම්භ කෙරුනද ඒ සඳහා ගැහැණු පිරිමි භේදයකින් තොරව සිසුන් ඇතුළත් කර ගන්නා ලදී. ස්ව භාෂා අධ්‍යාපන ආයතනය “මඩම" වශයෙන් හදුන්වන ලදී. එහි දෙමාපියන් නොමැති අනාථ දරුවන් රඳවා තබා අනාථ නිවාසයක් ලෙස පවත්වාගෙන ගිය බව මහාමායා ඉතිහාසය සාක්ෂි දරයි.
අද එලෙස ඇරඹි මහාමායා බාලිකා විද්‍යාලය කාන්තාවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු ප්‍රධාන පෙළේ බාලිකා විදුහලකි. 1908 ජනවාරි මස 05 දින ආරම්භ කළ මෙම විදුහලෙහි කතෝලික පූජකවරුන් හා කන්‍යා සොයුරියන් ගුරුවරු ලෙස සේවය කර ඇත. මුල් කාලයේදී ගැහැණු ළමුන් සඳහා පමණක් වෙන්ව තිබූ මෙම පාසල 1908 සිට පිරිමි ළමුන්ට ඉගනීමේ පහසුකම් සපයා තිබුණි.
ශාන්ත මරියා කන්‍යාරාමයේ හා සර්වේශස් විද්‍යාලය ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙන ආයතන දෙකක් ලෙස ක්‍රියාත්මක වූ අතර දෙමව්පියන් තම දරුවන් ඉංග්‍රීසි මාධ්‍යය අධ්‍යාපනය සඳහා යොමු කර වීමේ නැඹුරුවක්ද පැවති බව හෙළිවේ. ‘මඩමෙහි (අතීත මහමායාවෙහි) අධ්‍යාපන කාර්යය සඳහා මුලදී සිසුන් ඇතුළත් කර ගැනීමක් සිදු නොවූ අතර සිංහල භාෂා පාසලක් වූ මෙහි ආරම්භයේදී සිසුන් 25 දෙනෙක් පමණක් ලියාපදිංචි කර තිබුණි. නමුත් 1908 මැයි මාසය ආරම්භ වන විට ශිෂ්‍ය සංඛ්‍යාව සියයක් දක්වා වර්ධනය වූ බව පාසල් පැරණි මූලාශ්‍ර සාක්ෂි දරයි. මැහුම් ගෙතුම් වැනි හසුරු කුසලතා ආශ්‍රිත වෘත්තීය පුහුණුවීම් කරන ස්ථානයක් ලෙස ආරම්භක අවධියේදී පැවතිණ.
(කන්‍යා සොයුරිය දරුවන් බලාගනිමින්)
ආරම්භයේ සිට අඩසියවසකට අධික කාලයක් කතෝලික කන්‍යා සොයුරියන්ගේ පාලනය යටතේ පවත්වාගෙන ආ මෙම පාසල රෝමානු කතෝලික සභාව මගින් රජයේ අනුබද්ධ සිංහල පාසලක් ලෙස 1911 වර්ෂයේදී ලියාපදිංචි කරන ලදී. එහි මුල් ගුරුන්නාන්සේ නමින් ආයතන ප්‍රධානියෙක් ද පත්කර ඇත.
(පාසලේ මුල් ගුරුන්නාන්සේ)
ශාන්ත මරියා කන්‍යාරාමය හරහා එහි පාලන කටයුතු සිදුවූ අතර මුල් ගුරුන්නාන්සේ ශාන්ත මරියා කන්‍යාරාමයේ නීතිරීති මත පාසල පවත්වාගෙන යන ලදී.
1923 දී මෙම විද්‍යාලය කොටුවේගොඩ විද්‍යාලය නමින් නම් කර ශාන්ත මරියා කන්‍යාරාමය හරහා පාලන කටයුතු සිදුව ඇත. ශාන්ත මරියා කන්‍යාරාමයේ උත්සව කටයුතු සඳහා සහභාගී වන බැතිමතුන්ට නවාතැන් සපයන ස්ථානයක් ලෙස බොහෝවිට කොටුවේගොඩ විද්‍යාලය යොදාගෙන ඇත.1911 දී රජයේ අනුබද්ධ සිප්හල පාසලක් වුවද විද්‍යාලය ස්වාධීනව කටයුතු කළ බවක් නොපෙණින. එය හුදෙක් ශාන්ත මරියා කන්‍යාරාමයේ පාලනයට නතුව ක්‍රියාත්මක වූ අධ්‍යාපන ආයතනයක් ලෙස පැවතිණ.
ශාන්ත මරියා කන්‍යාරාමය අනුබද්ධිතව පැවති කොටුවේගොඩ ස්වභාෂා විද්‍යාලය 1962 දී පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීමේ පනත යටතේ ස්වාධීනපාසලක් බවට පත්විය. වසර 50 ට ආසන්න කාලයක් ශාන්ත මරියා කන්‍යාරාමයේ කතෝලික සොයුරියන් යටතේ ක්‍රියාත්මක වූ කොටුවේගොඩ විද්‍යාලය ඉන් අනතුරුව ස්වාධීනව කටයුතු කරමින් වර්තමානය දක්වා සුබවාදී ගමන් මඟක පියවර තබමින් සාර්ථකත්වයට පැමිණ තිබේ


